‘මම තව මොනව කරන්නද? පුළුවන් හැම දේම උපරිමය කළා. ඒත් ඉන්දියාවේදී අපේ කට්ටිය හොඳට කළේ නැහැ.’ යනුවෙන් ශ්රී ලංකා ක්රිකට් සභාපති සනත් ජයසුරිය ඉන්දියාව සමග ලද පරාජය පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්රහය සමග පැවැති සාකච්ඡාවකදී පවසා සිටියේය.
2014 වසර තුළ ලොව වැඩිම එක්දින තරග සංඛ්යාවකට සහභාගි වූ රට සහ එහිදී වැඩිම දක්ෂතා දැක්වු පන්දු යවන්නන් සහ පිතිකරුවන් සහිත ශ්රී ලංකා කණ්ඩායම ඉන්දියාවේදී ලද තරග 5-0 ක පරාජය පිළිබඳව ශ්රී ලංකාව පමණක් නොව ලෝක කුසලාන තරගාවලියට අවි මුවහත් කරන සෙසු රටවලටද විශේෂ ප්රවෘත්තියක් වී තිබේ.
විස්සයි විස්ස ලෝක ශූරතාව දිනා ගැනීමෙන් පසු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මෙම වසරේ තරගාවලි පහකට සහභාගි වී ඉන් තරගාවලි හතරක් ජය ගත්තේය. වැරදුන එකම කුරුමානම ඉන්දියාව හමුවේ ලද පරාජය වේ. එය දැවැන්ත පරාජයක් වන්නේ ශ්රී ලංකා ක්රීඩකයන් දැක්වූ අලස ක්රීඩා විලාසය හේතුවෙනි. එහි චෝදනා ලාභියන් ලෙස ඇතමෙක් ක්රිකට් ආයතනය නම් කරති. තවකෙක් කණ්ඩායමට දොස් නගති. සෙස්සෝ පුහුණුකරුවන්ට දෙහි කපති. නැතිනම් ක්රිකට් තේරීම් කමිටුවට ඇඟිල්ල දිගු කරති.
එහෙත් සියලු දේට නිසි පිළිතුරු වන්නේ ඇන්ජලෝ මැතිව්ස් පන්දුවෙන් සහ පිත්තතෙන් දිගින් දිගටම දක්ෂතා දක්වද්දි ජ්යෙෂ්ඨයන් හැර නවකයන් බාලාංශ මට්ටමේ ක්රීඩාවක නිරත වීමය.
ඒ අනව ශ්රී ලංකාවට දැන් ලෝක කුසලානට පෙර තවත් එක්දින තරග 12 ක් තිබේ. එහිදී අපේ ඔවුන්ගේ සූදානම කෙසේ විය යුතුදැයි ශ්රී ලංකා ක්රිකට් හමුවේ තිබෙන විශාලතම අභියෝගය වේ. ඒ වෙනුවෙන් කණ්ඩායමේ සංයුතිය සකසන ප්රධාන මෙහෙයුම දියත් කරන සනත් ජයසූරිය තවදුරටත් මෙසේ පැවසීය.
“අපේ ක්රීඩකයන් දැන් ආයෙත් මුල ඉඳල පටන් ගන්න ඕන. මොකද ඉන්දියාවේදී වුණේ මොකක්ද කියල ඒ තැන හරියට හඳුන ගෙන හරිදේ තේරුම් ගත යුතුයි. අපි ක්රීඩකයන් හැම කෙනෙක්ටම අවස්ථාව දුන්නා. නමුත් ඔවුන් එයින් ප්රයෝජනයක් ගත්තේ නැහැ.”
ශ්රී ලංකා පරාජයට බලපාන ප්රධාන සාධකය වූයේ ආරම්භක පිතිකරු සබඳතාව දුර්වල වීමය. ඒ පිළිබඳව සනත් පවසන්නේ මෙවැනි අදහසකි.
“අපි කුසල්ට ඕන තරම් අවස්ථාව දුන්නා. තරංගටත් දුන්නා. දැන් අපි තවත් දෙන්නෙක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එතනදි කෞෂාල් සිල්වා කෙරෙහිත් අපේ අදහසක් තියෙනවා. නමුත් මහේල ආරම්භක පිතිකරු ස්ථානයට කැමැත්තෙන් ඉන්න නිසා ඒ ගැනත් අපි සලකා බලනවා. ඒත් මහේලගෙ ස්ථානයේ පන්දුවට පහර දෙන්නෙ කවුද කියන එක තමයි ප්රශ්නය තියෙන්නෙ. අපිට ඉස්සර අවස්ථාවක් දුන්නම ඒකෙන් උපරිමය ගන්න උත්සහ කරනවා. මම කොච්චර හයියෙන් පහර දෙන්න ගියත් ලකුණු 20 පැනපු ගමන් ඒක ලකුණු පනහක් හෝ සියයක් කරන්න ප්රවේශමෙන් ක්රීඩා කරනවා. අපිට දැන් ඒ දේ කරන්න බැහැ ඒත් කියල දෙන්න පුළුවන්.
ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීම කෙරෙහි කළ හැකි සියල්ල කරමින් සිටින බවද සනත් ජයසුරිය පවසයි.
“ක්රීඩකයන් උඩපන්දු අතහරින විට පුහුණුකරුවන්ට බනිනවා. රුවන් කල්පගේට යන්න වුණෙත් ක්රීඩකයන් පිට්ටනිය මැද්දෙ පන්දු රැකීම දුර්වල වෙච්ච නිසා. දැන් අපි ලෝක කුසලාන තරගාවලියට ක්රීඩකයන්ගෙ මානසිකත්වය හදන්න වගේම පන්දු රැකීම කෙරෙහි විශේෂ පුහුණුකරුවන් දෙදෙනෙක් ගෙනල්ල ඉන්නවා. ඉන්දියාවේදි වූ නරක දේවල් අමතක කර දමන්න එංගලන්ත සංචාරයේදී අපේ කණ්ඩායමට හැකිවෙයි කියල මම විශ්වාස කරනවා.”
Home »
» අපි එදා හිතපු දේ අද නවකයන් ළග නැහැ – සනත් ජයසුරිය

