Sinhala Chat

Home » » ‘ඔබ නැතිව ඔබ එක්ක’ රැඟුම් පාලක මණ්ඩලයෙන් වාරණය වෙයිද?

‘ඔබ නැතිව ඔබ එක්ක’ රැඟුම් පාලක මණ්ඩලයෙන් වාරණය වෙයිද?

ජාත්‍යන්තර සම්මානයෙන් පැසසුම් ලබපු ඔබේ චිත්‍රපටයට උපන්බිමෙන් එල්ලවෙලා තියෙන අසාධාරණය මොකක්ද?
ඔබ නැතිව ඔබ එක්ක චිත්‍රපටය සම්බන්ධයෙන් පැනනැඟී තිබෙන ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ රැඟුම් පාලක මණ්ඩලය දර්ශන කීපයක් ඉවත් කරන්න කියනවා. නමුත් අවාසනාවකට ඒ දර්ශන ඉවත් කළොත් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කිසිම විදියකින් චිත්‍රපටය තේරුම් ගන්න බැරිව යනවා.
රැඟුම් පාලක මණ්ඩලය පෙන්වාදෙන්නේ චිත්‍රපටයේ දෙබස් කීපයක් ඉවත් කරන්න කියලා පමණයි නේද?
නෑ. ඒක අසත්‍යයක්. මේ චිත්‍රපටයේ හමුදාවෙන් ඉවත්වන සොල්දාදුවෙක් පිස්තෝලයක් පාවිච්චි කරනවා. ඒ පිස්තෝලය තිබෙන්නේ අල්මාරියක ලාච්චුව ඇතුළේ. නමුත් සොල්දාදුවා පිස්තෝලයට අත තියන්නෙවත් නෑ. ඔහුගේ බිරිය පමණක් පිස්තෝලය දකිනවා. චිත්‍රපටයේ එවැනි දර්ශන තුනක් තියෙනවා.

රැඟුම් පාලක මණ්ඩලය ඉවත් කරන්න කියන්නේ අන්න ඒ දර්ශන තුන. ඉතින් ඔවුන් කොහොමද දෙබස් විතරයි ඉවත් කරන්න කිව්වේ කියලා කියන්නේ..?
නිර්මාණයක් කරද්දි රැඟුම්පාලක මණ්ඩලය සලකා බලන නිර්ණායක පිළිබඳ පුංචිම හැඟීමක්වත් තිබුණේ නැද්ද?
ලෝකයේ කිසිම නිර්මාණකරුවෙක් රැඟුම් පාලක මණ්ඩලයේ නිර්ණායක බලලා ඒවට අනුව නිර්මාණ කරන්නේ නෑ. රැඟුම් පාලක මණ්ඩලය ඉන්නේ නිර්මාණකරුවාගේ නිර්මාණය අසීමිත මහජන ප්‍රදර්ශනයට සුදුසුයිද? නැද්ද ආදී වශයෙන් වර්ගීකරණය කරන්න පමණයි. අපේ රටේ සහ ඉන්දියාවේ යුද්ධය වැනි තත්ත්වයන් සලකා බලලා මැදිහත්වන අවස්ථාත් තිබෙනවා. නමුත් සිනමාකරුවා නිර්මාණය කරන්නේ ජීවිතය. රැඟුම් පාලක මණ්ඩලයට අනුව නිර්මාණ කළා නම් ලෝකයේ කොහේවත් ප්‍රශස්ත නිර්මාණ බිහිවන්නේ නෑ.



නිර්මාණකරුවා ස්වාධීන විය යුතුයි කියන තැනදී පුරවැසියකු ලෙස ඔහු අතින් ඉටුවිය යුතු වගකීම් ගිලිහෙනවා නේද?
කලාකාරයන්ට සේම පුරවැසියාටත් ප්‍රකාශනය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් තියෙනවා. ඔහු කරන ප්‍රකාශනයේ පදනම, ස්වරූපය කුමක්ද කියා රැඟුම් පාලක මණ්ඩලය නිවැරැදිව අවබෝධ කර ගත යුතුයි.
රැඟුම් පාලක මණ්ඩලයට අනුව ඔබේ සිනමා නිර්මාණය ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සාක්ෂියක්.
කිසිසේත්ම නැහැ. මේක සම්පූර්ණයෙන්ම ආදරය ඉල්ලා සිටින චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. අසීමිතව අනෙකාට ආදරය කරන්න කියන ඉල්ලීමක් හැටියටයි ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත්‍රපටය මම දකින්නේ. මෙතැනදී කලාකරුවකු හැටියට මගේ වගකීම සහ යුතුකම වන්නේ යුද්ධය අවසානයේ සියලු ජන කොටස් අතර සහජීවනය ඇති කිරීම. හැබැයි ඒක සම්පූර්ණ වන්නේ සියලුම ජන කොටස්වල සැබෑ මානුෂීය වුවමනාවන්් විනිවිද දැකීම තුළ පමණයි.


ඔබේ චිත්‍රපටයෙන් ලංකාවේ හමුදාව ස්ත්‍රී දූෂණය කරන, පාසල් ළමයින් ඝාතනය කරන, ගෙවල් මංකොල්ල කන පිරිසක් ලෙස හුවාදක්වනවාද?
ඒ එකක්වත් මේ චිත්‍රපටයේ නෑ. මම මුලින්ම ච්. ඍ. ච්. පටයක් ලෙස චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කළාම ඔවුන් එක දෙබසක් හැර ඉතිරි සියල්ල අනුමත කරන්න පුළුවන් කියන වාචික පොරොන්දුව මට දුන්නා. ඊට පස්සේ ඩිජිටල් ප්‍රක්ෂේපණයක් ලෙස චිත්‍රපටය ඉදිරිපත් කළාට පස්සේ පසුකාලීනව ගොඩනැඟුණ ගැටලුවක් තමයි මේ. රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට මේ සම්බන්ධයෙන් ච්. ඍ. ච්. පටය නරඹපු මොහොතකම කියන්න තිබුණා. ඔහු දැන් කරන්නේ මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ගොඩනඟන ගැටලු සාධාරණීකරණය කරන එක. කලින් මෙහෙම කතා කිව්වේ නෑ. මට තියෙන ගැටලුව ඒකයි.
ලංකාවේ ආරක්ෂක අංශය පවා තීරණය කරනවා ඔබේ චිත්‍රපටය නිසා ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් කියලා?
මම චිත්‍රපටය දුන්නේ රැඟුම් පාලක මණ්ඩලයට. තීරණය ගන්න ඕන ඔවුන්.


ඇත්තටම එහෙම දෙයක් වෙනවානම්?
මේ වන විට ‘ඔබ නැතිව ඔබ එක්ක’ රටවල් 40ක පෙන්නලා තියෙනවා. හොඳට හොයලා බලන්න අන්තර්ජාලයේවත් මේ සම්බන්ධයෙන් ඔය කියන තත්ත්වය හුවා දක්වන විචාරයක්වත් පළවෙලාද කියලා. ලංකාවේ ආරක්ෂාවට සතුරු නිර්මාණයක් ලෙස කිසිදු විදේශීය විචාරකයකු දක්වලා නෑ. ඔවුන් චිත්‍රපටය තේරුම් ගත්තේ ඊට වඩා ගැඹුරු තැනකින්.


ඔබේ නිර්මාණයකට තහනමක් එල්ලවුණු පළමු අවස්ථාව මෙය නෙවෙයි. කලින් වගේ අධිකරණයට යන්න වුණත් සූදානම්ද?
දැනට මුලින්ම කරන්න ඕන එක දෙයයි. මම මේ කරුණු රැඟුම් පාලක මණ්ඩලයට දීර්ඝව සහ ලිඛිතව යොමු කරනවා. කපා ඉවත් කළ යුතු දර්ශන සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කරනවා. නමුත් එක දෙයක් මතක තබා ගත යුතුයි. ඒ තමයි චිත්‍රපට වාරණය කළ නොහැකියි කියන කාරණය.
ඔබ දැනටමත් මේ චිත්‍රපටය අන්තර්ජාතිකව පෙන්නලා ලාභ උපයා හමාරයි. ඒ නිසා කෙනකුට හිතෙන්න පුළුවන් ප්‍රසන්නට චිත්‍රපටය ලංකාවේ පෙන්වන්න වුවමනාවක් නෑ කියලා?
එහෙනම් ඇයි මම චිත්‍රපටය පෙන්වන්න මේ තරම් උත්සාහ ගන්නේ…?
නිර්මාණකරුවෙක් තමන්ගේ රටෙන් එහාට රසිකයන් ආමන්ත්‍රණය කිරීම හොඳ දෙයක්. හැකිළෙන වෙළෙඳපොළ තුළ ඒක නොහැකියාවක් නෙවෙයි, හැකියාවක්. ලෝකයේ කුමන සම්මාන ගත්තත් මගේ සෑම චිත්‍රපටයක්ම මම මගේ මවුබිමේ මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනවා.


රැඟුම් පාලක මණ්ඩලය හෝ ඔබේ පාර්ශ්වය නම්‍යශීලී නොවීම තුළ අසරණ වන්නේ සිනමා රසිකයන් නේද?
ලොකුම අසාධාරණය වන්නේ මෙහි නිෂ්පාදකයන්ට. මොකද මෙහි ච්. ඍ. ච්. පටය ඉදිරියේදී ඉන්දීය වෙළෙඳපොළට නිකුත් වෙනවා. ඊළඟට නිල වශයෙන්ම චිත්‍රපටය අන්තර්ජාලයට එක්වෙනවා. එතැනින් එහාට ලංකාවේ වෙළෙඳපොළේ ඕන තරම් ව්‍යාජ චිත්‍රපට දකින්න ලැබේවි. නමුත් මම සිනමාකරුවකු ලෙස චිත්‍රපටය මේ මවුබිමේ මහජන ප්‍රදර්ශනයට ගේන්න සියලු ශක්තිය යොදවනවා.
Powered by Blogger.
 
Copyright © 2014 PATTA VIDEOS